Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
නවසීලන්ත – ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබේ. ඒ අනුව තවදුරටත් එහි පළමු ස්ථානයේ ඉන්දියාව රැඳි සිටින අතර නවසීලන්තය දෙවන ස්ථානයේ පසුවෙයි. තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමය. ශ්‍රී ලංකාව අදාළ ශ්‍රේණිගත කිරීම්හි පස්වන ස්ථානය හිමිකරගෙන ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්වල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හත් වන ස්ථානයේ පසුවීමත් විශේෂත්වයකි. එංගලන්තය, බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් පිළිවෙලින් 08, 09 සහ 10 යන ස්ථානවල පසුවෙති.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. ලබන 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය. සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිත දැනුම්දීම් සිදුකළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට සිදුවන බව චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.
කිසිදු හේතුවක් මත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආපස්සට නොගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පවසයි. තාක්ෂණික දෝෂ මගහරවා ගනිමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට රැගෙන යන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) කිරිබත්ගොඩ පිහිටි ජාතික ජන බලවේගයේ මහජන සම්බන්ධීකරණ කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍යවෙත අදහස් දක්වමිනි.
2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතා අනුපාතය සියයට 38.4 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. නාගරික අංශය සියයට 52.1 ක් ලෙස ඉහළම සාක්ෂරතා අනුපාතය වාර්තා කර ඇති අතර, ග්‍රාමීය අංශය සියයට 36.6 ක් සහ වතු අංශය සියයට 18.6 ක් ලෙස සමීක්ෂණයෙන් පෙන්නුම් කෙරේ. එමෙන්ම 2025 වසරේ මුල් භාගයේදී පිරිමින් අතර පරිගණක සාක්ෂරතාව සියයට 39.9 ක් සහ කාන්තාවන් අතර සියයට 37.1 ක් ලෙස දැක්වේ. සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ ස්ත්‍රී සහ පුරුෂ පර්ශ්ව අතර එම පරතරය කුඩා අගයක් ලෙසය. වයස අවුරුදු 15 සිට 19 දක්වා තරුණයින් සියලුම වයස් කාණ්ඩ අතර ඉහළම සාක්ෂරතා…
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය. අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව කැලණිය, කොහොල්විල ප්‍රදේශයේදී ඊයේ (18) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අපරාධකරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, එහිදී එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදුවිය.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා අද (19) උදෑසන අග්‍රාමාත්‍යවරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම 2026 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීම අද (19) සිට 23 දක්වා ස්විට්සර්ලන්තයේ Davos-Klostersහි පැවැත්වීමට නියමිතය. ‘A Spirit of Dialogue’ යන තේමාව යටතේ පවත්වනු ලබන 2026 ලෝක ආර්ථික සංසදය සඳහා රාජ්‍ය නායකයින්, ප්‍රමුඛ බහුජාතික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ තාක්ෂණ නවෝත්පාදකයින් ඇතුළු ගෝලීය නායකයින් 3,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනු ඇත. මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍යවරිය සහ ජාත්‍යන්තර නායකයින්, ගෝලීය ආයතන ප්‍රධානීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් අතර ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සාකච්ඡා මාලාවක් පැවැත්වීමට නියමිත බවද සඳහන් වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙරටින් හමු වූ ලොව විශාලතම සහ ඉහළම වටිනාකමින් යුතු දම් පැහැති ආර්නූල් මැණික කොළඹදී එළිදක්වා තිබේ. කැරට් 3,563ක බරකින් යුතු මෙම දුර්ලභ ගණයේ මැණික රත්නපුර ප්‍රදේශයෙන් 2023 වසරේදී හමුවී තිබුණි. ලොව මෙතෙක් සොයාගෙන ඇති දම් පැහැති ආර්නූල් මැණික් ගල් අතර විශාලතම මැණික ලෙස නම් කර ඇති මෙය ස්වභාවික ආර්නූල් මැණික් ගලක් ලෙස විද්‍යාත්මකව තහවුරු කර ඇති බව වාර්තා වේ. මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 300ත් 400ත් අතර වන බව එම මැණික එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ලංකා මැණික් පර්යේෂණාගාරයේ ප්‍රධාන රත්නවේදී අශාන් අමරසිංහ මහතා කියා සිටියේය.
පරාජිත දේශපාලන ව්‍යාපාර රට තුළ යළිත් ජාතිවාදයක් ඇති කිරීමට උත්සාහ දරන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. ගොතටුව, වෙට්ලන්ඩ් පාර්ක් ප්‍රදේශයේ පැවති තෛපොංගල් සැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, පුරවැසියන් ලෙස එක්වී එය පරාජය කළ යුතු බවය. ‘පරාජිත දේශපාලන ව්‍යාපාර, ජනතාව ප්‍රතික්‍ෂේප කළ දේශපාලනඥයින් ජාතිවාදය ඉදිරියට ගේන්න විවිධ උත්සාහයන් දැරුවත් පුරවැසියන් ලෙස එක්වී එය පරාජය කළ යුතු වෙනවා. බලා සිටීමෙන් එය කරන්න බැහැ. අවදියෙන් සිටින්න. සත්‍ය පිළිබඳ කතා කරන්න. ජනතාව සහමුලින් පරාජය කළ, රටට නොගැළපෙන පරාජිත පිරිස නැවත ගෙන ඒමට හැදුවත් මේ රටේ ප්‍රගතිශීලී ජනතාව ලබාගත් ජයග්‍රහණ ආපස්සට හරවා ගැනීමට සූදානම් නැති බව කිව යුතුයි.’