Author: LFN
කතානායකවරයාට වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතු මන්ත්‍රීවරුන් 169 දෙනාගෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රීවරුන් 69 දෙනෙකු පමණක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත. සෑම මන්ත්‍රීවරයකුම සෑම වසරකම ජුනි මස 30 වැනිදාට ප්‍රථම සියවත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට භාරදිය යුතුවෙයි. කතනායකවරයාට වත්කම් බරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ මන්ත්‍රීවරුන් පමණක් වන අතර ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ ජනාධිපති ලේකම්වරයාටය. වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාර දෙනු ලැබ ඇත. වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට මේ අනුව එම කොමිෂන් සභාවට බලය ඇති…
දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් හා ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී අද (06) සිදු කෙරුණි. දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 300කි. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. විවිධ රටවලට ණය සහන ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සංසන්දනය කිරීම ද නිවැරදි තත්ත්වයක් නොවන බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
ඊශ්‍රායල – හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවය. හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර ඇති අතර සංශෝධනවලට ඊශ්‍රායල ස්ථාවරය පැහැදිලි නැතත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මාසයේ වොෂින්ටනයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවය ධවල මන්දිරය නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැණුම් දී තිබේ.
අකුරණ අවන්හලක ඇති වූ ගින්නට හේතුව එම ගොඩනැගිල්ලේ බේකරි නිෂ්පාදනාගායේ තිබූ විදුලි උඳුන්වලට විදුලිය සපයන පද්ධතියේ විදුලි කාන්දුවක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි. ගින්න සම්බන්ධයෙන් අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන් වේ. පොලීසිය පැවසුවේ එම අවන්හල අසල පිහිටි අලෙවිසැලක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයකට සහ ජාත්‍යන්තර පාසලකට ගින්නෙන් හානි වී ඇති බව. අකුරණ නගරයේ පිහිටි මෙම අවන්හල තුළ ගින්න හටගෙන තිබුණේ ඊයේ (05) උදෑසන 6.30ට පමණ ය. එම ගින්න හේතුවෙන් මහනුවර – මාතලේ (A9) මාර්ගය ද ඊයේ පෙරවරුවේ තාවකාලිකව වසා දැමීමට කටයුතු කළේය. දැඩි පරිශ්‍රමයකින් පසු උදෑසන 10ට පමණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි. ගින්නෙන් කිසිදු පුද්ගල හානියක් වාර්තා…
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක්වී තිබේ. මෙම දුම්රිය පීලිපැනීම සිදුවී ඇත්තේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය ආසන්නයේදීය.
රට වෙනුවෙන් මෙහෙවරක් සිදුනොකරන සියලු දෙනා, ආබාධ සහිතව වුවත් රට වෙනුවෙන් වැඩකරන ආබාධිත ප්‍රජාවගෙන් අභිප්‍රේරණය විය යුතු බව ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. මව්බිම ජනතා පක්ෂයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරෙන ”මව්බිම පුළුවන්” විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් අභිප්‍රේරණය කිරීමේ ජාතික වැඩසටහනට ඊයේ (05) පස්වරුවේ එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එය ආරම්භ කෙරුණේ මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා, “මම දීර්ඝ කාලයක් ආබාධිත ප්‍රජාව සමඟ සමීපව වැඩ කරපු පුද්ගලයෙක්. මේ ප්‍රජාව ලංකාවටම ආදර්ශයක්. ඒ වැටහීම ඇතුවයි අපි ‘මව්බිම පුළුවන්’ කියන සංවිධානය පටන් ගත්තේ. අපිට ඕනේ මෙය දීර්ඝ කාලීන වැඩක් විදිහට…
ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සැඟව සිටියදී නාවලදී අත්අඩංගුවට ගත් අතර ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගැනුණි. මේ දිනවල දැඩි කතාබහකට ලක්වී ඇති නිරූපන ශිල්පිනියකගේ නමින් එය ලියාපදිංචිවී ඇති බවද පොලීසිය පැවසීය. රුපියල් කෝටියක මුදලක් ලබාදී ඔහු එය මිලදීගෙන ඇති අතර ඉතිරි මුදල ලබාදීමට නියමිත බවද සැකකරු විමර්ශන නිලධාරින්ට පවසා තිබේ.
ඓතිහාසික කතරගම මහා දේවාලයේ පෙරහැරට පැමිණෙන බැතිමතුන්ගේ රථ වාහන ගාල් කිරීමේ ස්ථාන සම්බන්ධයෙන් දැනුවත් කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ. පෙරහැර මංගල්‍යය අද (06) සිට 21 වනදා දක්වා පැවැත්වෙයි.