සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබේ.
එමෙන්ම දියේ ගිලී එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
මේ අතර ඊයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබුණි.
ඊයේ (03) දහවල් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම නිවසට පස් කන්දක් කඩා වැටී ඇති අතර ඊට යටවූ නිවසේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.
අනතුරින් පසුව නාවලපිටිය – දොලොස්බාගේ මාර්ගයේ 2 වන කණුව අසල ප්රදේශය සම්පූර්ණයෙන්ම අවහිර වුණි.
ඊයේ සවස වටවල පොලිස් වසමේ ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලමෙ මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වටවල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, ඊයේ දහවල් ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්රදේශයට හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවුනු මාර්ගයක ගමන්ගත් පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.
එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අඹගමුව ප්රදේශයේ අයෙකි.
