ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අගුරුවාතොට ‘සෙනෙහසේ කැදැල්ල’ නිවාසයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ආර්.සෙන්දිල් මහතා පවසන්නේ එම නිවාසයේ දීර්ඝ කාලයක් පුරා පැවති ගැටලු පිළිබඳව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර තිබු බවය.
ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලය, සාමාජ සේවා දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසිය ඇතුළු බලධාරීන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය පෙබරවාරි මස 6 වෙනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කර ඇත.
2024 වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම ආයතනය පවත්වාගෙන යන අතර ආරම්භයේදී මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මෙම නිවාසය පසුව මානසික රෝගී පිරිමි පුද්ගලයින් සඳහා ද රැකවරණය සැලසීම සිදු කර ඇති බව එම ලිපියෙන් ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කර තිබේ.
එම නිවාසය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන නොමැති අතර ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් ඉන් පැනයාමේ සිදුවීම් මෙන්ම මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවට ද ප්‍රාදේශීය ලේකම්වරිය බලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් වේ.
එම නිවාසය තමා ඇතුළු නිලධාරීන් විසින් වරින් වර අධීක්ෂණය කර එය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත්, ධාරිතාව ඉක්මවා නේවාසිකයින් ඇතුළත් කර නොගන්නා ලෙසත් එම නිවාසයේ හිමිකරුවන් දැනුවත් කළ ද ඔවුන් එම උපදෙස් අනුගමනය කර නොමැති බව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය පසුගිය පෙබරවාරි මාසයේ බලධාරීන් වෙත යොමු කළ ලිපියේ දැක්වේ.
මෙම තත්ත්වය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් කිසිදු නියාමනයකින් හා අධීක්ෂණයකින් තොරව භාරගනිමින් පෞද්ගලික පදනමින් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා තිබු බව සඳහන්ය.
