එක්සත් ජනපදය ඉරානය සමඟ ඉතා සාධනීය සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා අමෙරිකානු හමුදා යෙදවීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
මෙම නව සමුද්‍රීය මෙහෙයුම “Project Freedom” ලෙස නම් කර ඇති අතර, අවහිරය හේතුවෙන් සිරවී ඇති ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟවෙමින් පවතින නෞකාවල කාර්ය මණ්ඩල වෙනුවෙන් කරන ලද මානුෂීය මැදිහත්වීමක් ලෙස ද ඔහු මෙය හඳුන්වා ඇත.
“අපි එම නෞකා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව සමුද්‍ර සන්ධියෙන් පිටතට ගැනීමට උපරිම උත්සාහයක් ගන්නවා. ප්‍රදේශය නාවික ගමනාගමනයට ආරක්ෂිත වන තෙක් ඔවුන් නැවත නොපැමිණෙන බව සෑම අවස්ථාවකදීම ප්‍රකාශ කර තිබෙනවා,” යනුවෙන් ට්‍රම්ප් සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
ට්‍රම්ප්ගේ මෙම නිවේදනයත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහත වැටී ඇත.
කෙසේ වෙතත් ඉරානය සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ නව සමුද්‍රීය පාලන ක්‍රමයට සිදු කරන ඕනෑම අමෙරිකානු මැදිහත්වීමක් සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවය.
මීට පෙර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බාකේ පැවසුවේ, යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කළ කරුණු 14කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර ඇති බවත් පාකිස්තාන මධ්‍යස්ථකරුවන් හරහා වොෂින්ටනය දැනටමත් ඊට ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.
