සිය නිවස තුළදීම තම පියාගේ සහෝදරිය ඝාතනය කළ පුද්ගලයකු මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මහබාගේ කෙරඟපොකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල සිර කර මෙම ඝාතනය කර ඇත.
ඒ ඊයේ (04) දහවල් 12.00ත් 1ත් අතර කාලයේදීය.
ඒ පිළිබඳව මහබාගේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මෘත ශරීරය ඇය පදිංචිව සිටි නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පැවසුවේය.
ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ, අදාළ කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයකු මෙම ඝාතනය සිදුකර ඇති බවය.
ඝාතනයෙන් පසුව 40 හැවිරිදි අදාළ සැකකරු පුත්තලම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට පලාගොස් ඇති අතර එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උපායදූතයෙකු මාර්ගයෙනි.
පසුව පොලීසිය සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කරඇත්තේ, සිය නැන්දණියගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ණයට ගත් බවත් එය නැන්දා නැවත ඉල්ලීම හේතුවෙන් ඇති වූ අරවුලකදී ඇයගේ ගෙල සිරකර ඝාතනය කළ බවය.
අනතුරුව දේහය නිවසෙහි වූ ඇඳක් යට සඟවා ඈ සතුව තිබූ රත්‍රං සොරකම් කර හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකටදී රුපියල් ලක්ෂ අටහමාරක් මුදලක් ලබාගත් බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.
තමන් අදාළ මුදල සිය බිරියගේ නිවසේ සැඟවූ බව ඇය නොදන්නා බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති බව වාර්තා වේ.
අධික ණයබරකින් පෙළීම නිසා මෙම ඝාතනය සිදුකර මුදල් ලබාගත් බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.