පිටකොටුව ප්‍රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ විශේෂ වැටලීමකදී බෝතල් 801ක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබේ.
අදාළ බෝතල් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් හා විමර්ශන සිදුකර ඇති අතර, විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.
පානීය ද්‍රව රැගෙන යාම සඳහා භාවිත කරන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්‍රමිතිය අදාළ වේ.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එවැනි බෝතල් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබිය යුතු අතර, ආනයනික බෝතල් SLSI ආනයන පරීක්ෂණ ක්‍රමවේදය යටතේ පරීක්ෂා කර අලෙවියට අනුමත කර තිබීම අවශ්‍ය බව එම අධිකාරිය පවසයි.
මෙවැනි බෝතල් මිලදී ගැනීමේදී අදාළ ප්‍රමිති හා නීතිමය අවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගන්නා ලෙස පාරිභෝගිකයන්ට දැනුම් දී තිබේ.
වෙළෙඳපොළේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැකිය.