Author: LFN
මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් මාලදිවයින් ජනාධිපතිවරයා පිරිනමන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ‘කුරුම්බා මෝල්ඩිව්ස්’ නිවාඩු නිකේතනයේදී ඊයේ (28) රාත්‍රියේ පැවැත්විණි. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සහ ජනපති ආර්යාව විසින් මෙම විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සංවිධානය කර තිබිණි. මේ අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු මෙරට දූත පිරිස සහභාගි වූහ.
යූත් ෆො චේන්ජ් සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර තෙඹුවන පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලීසිය පවසන්නේ යටිනුවර, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු සොයාගෙන ඇති බවය. මියගොස් ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙක්, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණිය බව සඳහන්ය. යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුවී ඇති බව පොලීසිය සඳහන් කළේය. පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවය. සිය ගැටලු සම්බන්යෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබා දී නොමැති බව දුම්රිය රියදුරන් පවසයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ද ඊයේ (28) දිනයේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා සඳහන් කළේ.
ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව හෙට (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ. ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතය. අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකිය.
මහරගම පිළියන්දල මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි වාහන අලංකරණය කරන ස්ථානයක හදිසි ගිනි ගැනීමක් සිදුව තිබේ. මේ වන විට ඇතිව ඇති ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 02ක් අදාළ ස්ථානයට යොමු කර ඇති බව කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.
රස පරීක්ෂක කාර්යාලයේ කාර්ය සහයකයෙකු හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (28) දින මාලඹේ පොලිස් වසමේ කුඩාදෙනිය පටුමග, හෝකන්දර දකුණ ප්‍රදේශයේ නිවසක දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. එහිදී හෙරොයින් ග්‍රෑම් 265ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 58ක පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ ජාර්කන්ඩ් හිදී බස් රථයක් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රක් රථයක ගැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ මොහාන්පූර් පොලිස් ස්ථාන සීමාව තුළ ජමුනියා වනාන්තරය අසලදී මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරිත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඔවුන්ගෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවද වාර්තා වේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා ආසන්නයේ පිහිටි රෝහල් සහ ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන තිබේ. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අනතුරට හේතුව සොයා ඉන්දීය බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇතැයිද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි මහතා අද (29) කොළඹ දිසා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය. තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන දහයක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටි තිසකුට්ටි ආරච්චි මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම දැනුම්දීම සිදුකළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ය. හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවය.