දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
බෝලවත්ත සහ බොරලැස්ස දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් ලුණුවිල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇති අතර, වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
දංකොටුව, සුමගි හන්දිය – මැටිකොටුව අතුරු මාර්ගයේදී ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ රියදුරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
නිකවැරටිය – කුරුණෑගල මාර්ගයේ මාගල්ලේගම ප්‍රදේශයේදී ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදියේ පසුපැදිකාරිය වූ 52 හැවිරිදි කාන්තාවක් නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මුලතිව් – පුදුකුඩිඉරුප්පු මාර්ගයේ 46 කිලෝමීටර් කණුව ආසන්නයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන තල් ගසක ගැටීමෙන් අනතුරකින් ද තරුණයෙකු මියගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු මාන්චෝලේ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සිවනගර් ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
