නුගේගොඩ මංසන්ධිය හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී සිදුකළ වෙඩි තැබීම බඩෝවිට අසංක නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවා ඇති බවට සැකකරන බව පොලීසිය සඳහන් කරයි.
ඊයේ (22) රාත්‍රී 8.30ට පමණ නුගේගොඩ මංසන්ධියේ හා කොහුවල මංසන්ධිය අතර මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි තරුණයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි.
වෙඩි තැබීමෙන් තුවාල සිදු වූ තරුණයා අපරාධකරුවකු වන අවිශ්ක නැමැත්තාගේ සමීපතමයෙක් බව සඳහන්ය.
වෙඩික්කරුවන් යතුරුපැදියකින් අදාළ ත්‍රිරෝද රථය ලුහුබැඳ ගොස් අනතුරුව ඔවුන් ත්‍රිරෝද රථය හරස්කර නවත්වා වෙඩි ප්‍රහාර 3ක් එල්ලකර පලාගොස් තිබේ.
වෙඩි ප්‍රහාරය ත්‍රිරෝද රථයේ රියදුරු ඉලක්ක කර තබා ඇති අතර ඉන් ඔහුගේ දකුණු බාහුවට හා උදරයට තුවාල සිදුව ඇති බව පොලීසිය පවසයි.
පසුව තුවාලකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් පොලීසිය සඳහන් කරයි.
එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි චන්දිම සචින්ත නම් 25 හැවිරිදි තරුණයෙකි.
තමන් ත්‍රිරෝද රථයෙන් සිය බිරිඳ රැගෙන ඒම සඳහා කොහුවලට යන අතරතුරදී තම ත්‍රිරෝද රථය පසුපස යතුරුපැදියක් හඹාඑන බවට තමන් දුටු බව වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රශ්න කිරීම්වලදී පොලීසියට පවසා තිබේ.
මෙම වෙඩිතැබීම ඊයේ දිනයේදී සිදු වූ දෙවැනි වෙඩි තැබීම වන අතර ඒ සමඟ වසරේ මේ දක්වා කලය තුළදී වෙඩි තැබීම් 112ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් 56 දෙනෙකු තුවාල ලබා තිබේ.
