සහන කඳවුරුවල දැනට 7000කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් සිටින බවත් ඔවුන් මාස 2ක් හෝ 3ක් ඇතුළත නැවත පදිංචි කරවීමට පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසයි.
සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස 6138 පවතින අතර ඊට අදාළ පුද්ගලයින් යළි පදිංචි කරවීමට යම් කාලයක් ගතවනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අද (14) මේ බව සඳහන් කර සිටියේය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දත්ත මත පදනම්ව අර්ධ හානි සිදු වූ නිවාසවල අවදානමක් නොමැති නම් ඔවුන් පදිංචි කරවිය හැකි ද යන්න පිළිබඳව සොයා බලා ඔවුන් යළි තම නිවාසවල පදිංචි කරවීමේ කටයුතු කඩිනම් කරන බවද මෙහිදී අදහස් දක්වමින් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.
එමෙන්ම ප්‍රධාන වශයෙන් ඇති අභියෝගය වන්නේ සම්පූර්ණයෙන් නිවාස හානි සිදු වූ අය පදිංචි කරවීම බවත් ඒ සඳහා රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරවීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉඩම් ආපදාවට ලක්වූවන් පදිංචි කරවීම සඳහා ඉඩම් ලබා දීමට රජයේ ඉඩම් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇති බවය.
සුරක්ෂිත කඳවුරු ක්‍රියාත්මක වන පාසල් සහ තවදුරටත් අවදානම් සහිත පාසල් හැර අනෙකුත් සියලුම පාසල් දෙසැම්බර් මාසේ 16 වෙනිදා ආරම්භ කරන බවද කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කර සිටියේය.
එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සහනාධාර බෙදාදීමේ දී හෝ අත්‍යවශ්‍ය සේවා නොලැබීම සම්බන්ධයෙන් මහජනතාවට යම් ගැටලුවක් ඇත්නම් ‘1904’ දුරකතන අංකයට ඔස්සේ දැනුවත් කිරීම් සිදු කළ හැකි බවය.
