ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයට අපේක්ෂකයෝ හත් දෙනෙක් ඉදිරිපත්ව සිටිති. හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ, නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්.බණ්ඩාරනායක, ගාමිණී කළුහැන්දිවෙල, නන්ද මඩුගල්ල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ රොෂාන් ප්‍රියදර්ශන පස්සරමුදලිගේ මහත්වරු මේ මැතිවරණයට තරග වදිති. මේ මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන තැනැත්තා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස වසර 10ක් ධුර දරනු ලැබේ.
මෙහිදී, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන්නේ 261 දෙනෙක් පමණි. මල්වතු සහ අස්ගිරිය නිකායන් යටතේ පාලනය වන රජමහා විහාරවල ප්‍රධානාචාර්යවරුන් සහ ගිහි භාරකරුවන් 157 දෙනකු මෙන්ම බස්නායක නිලමේවරුන් 29 දෙනකු ද ඊට ඇතුළත් වේ.
2005 වසරේ ජුලි 1 දා දියවඩන නිලමේ තනතුරට පත් වූ ප්‍රදීප් නිලංග දෑල මහතා 2015 සැප්තැම්බර් 8 දා පැවැති ඡන්දයෙන් දෙවැනි වරටත් තවත් වසර 10ක් සඳහා දියවඩන නිලමේ තනතුරට පත් විය. ඒ මහතා ඉන් පෙර සබරගමු මහ සමන් දේවාලයේ, රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරු දැරුවේය. මෙවර 2025 ඡන්දයට හෙතෙම ඉදිරිපත් වන්නේ තෙවැනි අවස්ථාවටයි.
කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන අතර 2017 වසරේ දී පස්ගම ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ ධුරය දෙවතාවක් දරා ඇත. 1964 සිට 1975 දක්වා හිටපු දියවඩන නිලමේවරයකු වූ එච්.බී. උඩුරාවණගේ පවුලෙන් පැමිණි දමින්ද බණ්ඩාර උඩුරාවණ 2023දී මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත් විය.
නාථ දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස 2022 දී පත් වන ඒ. ඩබ්ලිව්. එස්. බණ්ඩාරනායක ඉන් පෙර මාතලේ, අම්බොක්ක හා මහනුවර ඇම්බැක්කේ දේවාලවල බස්නායක ධුර හොබවා තිබේ.
ගාමිණී කළුහැන්දිවෙල මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා උපාධිධාරියකු වෙයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වීර මඩුගල්ල පදනමේ සභාපති, නන්ද මඩුගල්ල මහතාද මෙවර දියවඩන නිලමේ තනතුරට තරග වදියි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ව්‍යාපාර මූල්‍ය දෙපාර්තමේන්තුවේ මහාචාර්ය තිලක් සුබසිංහ, ඓතිහාසික සෝනුත්තර රජමහා විහාර භාරකාරත්වය හා සතර මහ දේවාල භාර මහ නිලමේ ධුරය හොබවන රොෂාන් ප්‍රියදර්ශන පස්සරමුදලිගේ මහත්වරුද මෙවර දියවඩන නිලමේ ධුරය සඳහා තරග වදිති.
