වත්මන් දේශපාලන පරිසරයේ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට නොහැකි නම් එය පොලීසියේ දුර්වලතාවක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.
මේ වනවිට රජය වෙතින් පොලීසියට එල්ලවන එකම බලපෑම නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස කරන බලපෑම බව ද ඒ මහතා කීය. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක හිමිවරුන් දෙනම ඊයේ (17) බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පොලිස්පතිවරයා මේ බව පැවසීය. මහනායක හිමිවරුන් බැහැදැකීමට පෙර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. එම අවස්ථාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පොලිස්පතිවරයාව පිළිගත්තේ පිච්චමල් වට්ටියක් පිළිගන්වමිනි.
අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙසේද පැවසීය. “පොලීසියට කිසිදු දේශපාලන බලපෑමක් නැතිව වැඩ කරගෙන යෑමට හැකි පරිසරයක් මේ වනවිට නිර්මාණය වී තිබෙනවා. දේශපාලන බලපෑම් තිබෙනවා නම් ඒ තිබෙන්නේ හරි දේ කරන්න විතරයි. කිසිම අපරාධයක් හංගන්න, නොසලකා හරින්න, විමර්ශනය නොකර ඉන්න පහළ නිලධාරීන්ට මගෙන් කිසිදු අවස්ථාවක උපදෙස් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිලධාරීන්ට රාජකාරිය පැහැර හැරීමක් කරන්න බැහැ. අතීතයේ එහෙම දේවල් වූ බව අපි දන්නවා. ඒ නිසා තමයි අපරාධකරුවන් නිදැල්ලේ හිටියේ. මේ දේශපාලන පරිසරයත් එක්ක ශ්‍රී ලංකා පොලීසියට වැඩ කරන්න බැරිනම් මම හිතන්නේ ඒක පොලීසියේ දුර්වලතාවක්. අපි ඒක තේරුම්ගෙන දුර්වල නිලධාරීන්ට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග නොපමවා ගන්නවා.”