ත්රිකුණාමලය, බොරලුකන්ද රජමහා විහාරස්ථානයේ ප්රතිසංස්කරණ අත්හිටුවමින් මින් පෙර ලබාදී තිබූ නියෝගය ඉවත් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඊයේ (28) තීරණය කළේය.
ඒ එම විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සිදුකළ විරෝධතාවකින් අනතුරුවය.
ත්රිකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ සිදුකෙරෙන ප්රතිසංස්කරණ නවත්වන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා ත්රිකුණාමලය ප්රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගයට විරෝධය පළ කරමින් ගෝකණ්නපුර සුරැකීමේ සංවිධානය ත්රිකුණාමලය දිස්ත්රික් ලේකම්වරයා හමුවට අද පැමිණ තිබුණි.
එලෙස පැමිණි පිරිසට දිස්ත්රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීමට අවස්ථාව නොලැබීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.
පසුව භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස ත්රීකුණාමලය – මහනුවර ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණි.
පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කිරීමට භික්ෂූන් වහන්සේ පිරිසකට අවස්ථාව හිමි වුණි.
ඒ වන විට දිස්ත්රික් සංවර්ධන රැස්වීම එහි පැවැත්වෙමින් තිබූ අතර ඒ නිසා පැය දෙකක පමණ කාලයක් එහි රැඳී සිටීමට භික්ෂූන් වහන්සේට සිදුව තිබේ.
එහිදී භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිස දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම පැවති ශාලාවට ඇතුළුවීමත් සමඟ එහි නොසන්සුකාරී තත්ත්වයක් හට ගත්හ.
පසුව පැය 04 ක පමණ කාලයකින් පසු අදාළ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය ආණ්ඩුකාරවරයා නිකුත් කිරීමෙන් පසු භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස විසිර ගියහ.