ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් සඳහා වෙනත් බාහිර ආයතන යොදාගන්නා බවට පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සමාගම එහිදී සඳහන් කර ඇත්තේ මෙරට තුළ ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් හෝ එම ව්‍යාපාරය සඳහා කිසිදු බාහිර ආයතනයක් හෝ තුන්වන පාර්ශ්වයක් සම්බන්ධ කරගෙන නොමැති බවය.
එමෙන්ම සිය ඉන්ධන පිරවුම්හල් සේවා බලපත්‍ර අයිතිය වෙනත් කිසිදු පාර්ශ්වයකට පැවරීමට සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා සමාගම අදහස් නොකරන බවත් සිය සන්නාමයේ කීර්ති නාමය ආරක්ෂා කරගැනීම සඳහා තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් නිවේදනයේ සඳහන් වෙයි.
මේ අතර මේ සම්බන්ධයෙන් අරුණ පුවත්පත අද පළ කර තිබූ පුවත පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.
ඔහු එහිදී සඳහන් කළේ,
“මේකෙදි මා කෙරෙහි යම් චෝදනාවක් එල්ල වුණා. මම අද උදේ චමින්ද විජේසිරි මහතාටත් දුරකථනයෙන් කතා කළා. ඔහු ඊයේ ඉතාමත්ම පරිස්සමෙන් කරන ප්‍රකාශය තමයි පුවත්පතේ සිරස්තලය වෙලා තියෙන්නේ.. තෙල් ඇමති මාමණ්ඩට පිරවුම්හල් 150ක් ලබාදෙයි කියලා. මම කියන්නේ මේක කරුණාකරලා නිවැරදි කරන්න.”