මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දැරියගේ පෙම්වතාගේ පියා සහ ඥාති කාන්තාවක් අද (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔවුන් ඊයේ මිනුවන්ගොඩ පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
15 හැවිරිදි දැරියක් පැහැරගැනීමේ පුවතක් මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.
ඇය පෙම් සබඳතාව නැවැත්වීම හේතුවෙන් පැහැර ගැනීමට ලක්වන්නට ඇතැයි දැරියගේ මව පැවසුවාය.
එසේ පැහැර ගැනීමට ලක්වී තිබුණේ මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ පදිංචි කෞෂානි කාවින්ද්‍යා නම් 15 හැවිරිදි දැරියකි.
ප්‍රේම සම්බන්ධය නැවැත්වීම හේතුවෙන් උරණවූ කෞෂානිගේ පෙම්වතා ඔහුගේ ඥාති කාන්තාවක් සහ තවත් දෙදෙනෙකු සමග ඉකුත් අප්‍රේල් මස 10 වනදා ඇයගේ නිවසට පැමිණ තර්ජනය කර තිබුණි.
විදෙස්ගතවී සිටින කෞෂානිගේ මවට සිද්ධිය පිළිබඳව දැනුම් දීමත් සමග වැල්ලවාය ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ඇයව පිටත් කරහැරීමට මව කටයුතු කර තිබුණි.
කෙසේවෙතත් අප්‍රේල් 12 වනදා වැල්ලවායේ ඥාති නිවසට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු කෞෂානිව පැහැර ගත් බව සිය ඥාතීන් දැන්වූ බව කෞෂානිගේ මව වැඩිදුරටත් පැවසුවාය.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර දැනට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතැයි ද වාර්තා වෙයි.
එහෙත් තවමත් සිය දියණිය පිළිබඳ විමර්ශන නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවට දැරියගේ මව චෝදනා කරයි.