පසුගිය 19 වනදා ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියනයක තොගයේ සම්පල අද (22) ලබාගැනීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ පසුගිය 14 වනදා දිවයිනට රැගෙන ආ බිත්තර මිලියනයක තොගයේ සාම්පල, පරීක්ෂණ කටයුතු සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවය.
එම බිත්තර තොගය ලබන 24 වනදා නිදහස් කිරීමට හැකිවන බව ද ඔහු පවසයි.
එමෙන්ම සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ බේකරි කර්මාන්තකරුවන් සඳහා පමණක් මේ දක්වා බෙදාහැරීම සිදුවන ආනයනික බිත්තර සෙසු දිස්ත්‍රික්ක සඳහා ද බෙදාහැරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනතෙක් අවසර ලබා දී නොමැති බවය.
මේ වන විට ඉන්දියාවෙන් බිත්තර මිලියන 5ක අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇති අතර තවත් බිත්තර මිලියන 02ක් ලබන සතියේ දිවයිනට ගෙන ඒමට නියමිතය.