හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ශ්රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ආරම්භ විය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ කිහිපයක් ඊයේ කැඳවා ඇති විධායක සභා රැස්වීමට තම පක්ෂ සහභාගී නොවන බව දන්වමින් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්රීපාල සිරිසේන මහතාට ලිපි යොමු කර තිබුණි.
එලෙස ලිපි යොමුකළ පක්ෂ වන්නේ මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්රසය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයයි.
ඊයේ පස්වරුවේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා,
“මේ සන්ධානය සමඟ ඒකරාශීවෙලා හොඳ වැඩපිළිවෙලක් හදාගෙන අපි ඉදිරියට යමු. ඒ සඳහා අනෙක් දේශපාලන පක්ෂ වලටත් දේශපාලන පක්ෂවල ඉඳලා කැඩිලා බිඳිලා වෙන්වෙලා පාර්ලිමේන්තුවේ සිටින විවිධ කොටස්වල සෑම සියලුදෙනාගේම සහයෝගය ඉල්ලා සිටිනවා. අද මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න නොයෙක් දේවල් අපෙන් ගිය අය කළා. ඔය තර්ජන කියන ඒවා මම ඔයවගේ මිනිස්සු එක්ක නෙවෙයි හැප්පිලා තියෙන්නේ. ඔයිට වඩා ලොකු මිනිස්සු අපි හැප්පිලා ගෙදර යවලා තියෙනවා ඒගොල්ලන්ව. එක නිසා අපි ඕවා අබ ඇට කොස් ඇට වගේ තමයි දකින්නේ. ඒ නිසා අපිත් එක්ක හැප්පෙන්න එපා කවුරුවත් දේශපාලන වශයෙන්. හැප්පෙන්න ආවොත් අපිත් හැප්පෙන්න ලෑස්තියි.”