රටට අවශ්ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්රහයන් කිසිදු පැකිළීමකින් තොරව සැපයීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් මේ වන විට ක්රියාත්මක කර ඇති සුබසාධන වැඩසටහන්වල ක්රියාකාරීත්වය සහ ප්රගතිය මෙහිදී පුළුල් ලෙස සමාලෝචනයට ලක් කෙරිණි.
විදෙස්ගත ශ්රමිකයන් වෙනුවෙන් ක්රියාත්මක නිවාස යෝජනා ක්රමය ඇතුළු ණය පහසුකම් ලබාදීමේදී මතුව ඇති ගැටලු මෙන්ම, තීරුබදු රහිත (Duty Free) පහසුකම් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වී ඇත.
විදෙස්ගත ශ්රී ලාංකිකයන් පිළිබඳ නිවැරදි සහ යාවත්කාලීන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමේ දැඩි අවශ්යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එමඟින් ඔවුන්ගේ සුබසාධන වැඩසටහන් වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව ක්රියාත්මක කිරීමට හැකි වන බවද පෙන්වා දුන්නේය.
