මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් දැනුම්දී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් හෙතෙම කීය.
“නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකරන තිබුණත්, මේ පිළිබඳව යම් යම් තොරතුරු ප්‍රමාණයක් තිබුණා. මේ පිළිබඳව පොලිසිය අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නවා. ඉදිරි කාලයේදී මේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර ගන්නවා. රතු සහ නිල් නිවේදන නිකුත් කර තිබෙනවා. ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීම ඉදිරියේදී කරනවා. ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි රාජ්‍යයෙන් නිල දැනුම්දීමක් නැහැ. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. කොහොම වුණත්, මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය හරහා සොයා බලමින් ඉන්නවා. මොන ආකාරයේ පුද්ගලයෙක් වුණත්, ඔහුව නීතියේ රැහැනට කොටු කරගන්න. අපි අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා.”
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට පසුගිය සතියේ තොරතුරු වාර්තා විය.
ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් මොහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව සඳහන්ය.
එමෙන්ම මොහු ඩුබායිහි ධන ක්වේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව ද සඳහන්.
