ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ දිවයිනට ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.
2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
“පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024,2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ වගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා.”
