ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් ගැන විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේය.
පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ එම නීතිඥවරිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අදාල බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බවය.
වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී මෙම බැංකු ගිණුම් ව්‍යජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර මෙම බැංකු ගිණුම් විවෘත කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියා සිටියේය.
මෙම බැංකු ගිණුම් හරහා විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති අතර ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලීසිය අධිකරණයට දැනුම්දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
