ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු සභාපතිවරයා වන හර්ෂ අබේවික්‍රම මහතා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධව පලවන වාර්තා සම්බන්ධව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය මගින් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ හිටපු සභාපතිවරයා තනතුරින් ඉවත් කිරීමට හේතු වූ කාරණය ලෙස ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්, ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමට ලබාගත් විශේෂ අවසර පත්‍රයක් දීර්ඝ කිරීමට ඉල්ලීම් කරන ලද ලිපියක් පාදක කරගනිමින් සාවද්‍ය මතයක් ඇතැම් සමාජ මාධ්‍යයන් හී පළවන බවය.
ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ලිපි ශීර්ෂය සහිත වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයාට පසුගිය 2025.12.29 දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් ලිපියක් මගින් පසුගිය කාල වකවානුවල ලබා දී තිබූ ගුවන් තොටුපොළ පර්යන්තයට ඇතුළත්වීමේ විශේෂ අවසර පත්‍රය පසුගිය දෙසැම්බර් 31න් කල් ඉකුත් වන බැවින් එය ඉදිරි වර්ෂය සඳහා දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලූ බවත් එය අමාත්‍යවරයා විසින් බානගල හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු පිළිබඳව සලකා බලා ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළුවීමේ විශේෂ අවසර පත්‍රය පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනි දින සිට ඉදිරි වර්ෂයට දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස එම ලිපියේම සටහනක් තබා ඉදිරි කටයුතු සඳහා හිටපු සභාපතිවරයා වෙත යොමු කළ බවත් අමාත්‍යාංශය සිය ලිපියේ සඳහන් කර ඇත.
එහිදී විශේෂ අවසර පත්‍ර නිකුත් කිරීම සම්බන්ධව මීට පෙර අවස්ථාවල ඇති ඇතැම් අත්දැකීම් පිළිබඳව හිටපු සභාපතිවරයා සිදුකළ දැනුම්දීම සලකා බලා සුදුසු කොන්දේසි සහිතව අවසර ලිපියක් නිකුත් කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බවත් එම උපදෙස්වලට අනුකූලව පසුගිය 09 වැනි දින පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට ලිපියක් යැවීමට හිටපු සභාපතිවරයා කටයුතු කළ බවත් අමාත්‍යාංශය සඳහන් කර ඇත.
පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීමකට අනුව අදාළ ලිපිය නිකුත් කිරීම ජනවාරි මුල් සතිය තුළදී සිදුවූ බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය සිය නිවේදනය මගින් දන්වා ඇත්තේ මේ කරුණ සම්බන්ධව අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා අතර කිසිදු මත ගැටුමක් සිදුව නොමැති බවය.
ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ පරිපාලන ව්‍යුහයේ වෙනස්කම් කිහිපයක් හා තවත් කරුණු කිහිපයක අවශ්‍යතාවය මත සභාපති තනතුර පිළිබඳව තීරණයක් ගැනීමට සිදුව ඇති මොහොතක අමාත්‍යවරයා සහ හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා සමග පසුගිය 21 වැනිදා සාකච්ඡාවක් කළ බවත් ඒ අනුව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.
ඒ අනුව පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට යවන ලද ලිපිය හිටපු සභාපතිවරයා තනතුරෙන් ඉවත් කිරීමට කිසිදු ආකාරයකින් සම්බන්ධතාවක් නොමැති බවත් අමාත්‍යාංශය සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
