දක්ෂිණ අධිවේගී මාර්ගයේදී ඊයේ (24) සවස සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
කොළඹ සිට මත්තල දෙසට ධාවනය වූ මෝටර් රථයක් වම්පස ආරක්ෂිත වැටෙහි ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරින් මියගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවකි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 30 සහ 36 වයසේ දෙදෙනෙකු වන අතර ඔවුන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලීසිය පැවසුවේ මෝටර් රථයේ රියදුරට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැක කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පින්නදූව රථවාහන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
