ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වීමට හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනාවක් සිදුකර තිබේ.
එම පක්ෂයේ සමස්ත ලංකා මධ්‍යම කාරක සභාව එළැඹෙන 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරය ඇතුළු විවිධ තනතුරු සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ගද ගෙන තිබේ.
නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය හෙබවූ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාද නිදහස් පක්ෂ තනතුර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹ ඇත.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිවරයාව සිටි කාලයේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි.
එමෙන්ම මේ වන විට නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දුමින්ද දිසානායක මහතායි.
කෙසේ වෙතත් පැවැති සාකච්ඡාවලින් අනතුරුව මේ වන විට නිදහස් පක්ෂ නියෝජිතයින් අතර යම් එකඟතාවයකට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.
එහිදී නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹ ඇති පාර්ශ්ව එම නඩු ඉවත් කර ගැනීමට සූදානමින් සිටින බවද මේ වන විට වාර්තා වේ.
ඒ අනුව එළැඹෙන සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවේදී ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ ජ්‍යෙෂ්ට උප සභාපති තනතුරක් පිරිනැමිමට පක්ෂය කටයුතු සිදුකරමින් සිටින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාටද සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට ආරාධනා පත්‍ර යොමු කර ඇති අතර ඔහුට නිදහස් පක්ෂයේ තනතුරක් ලබා දීමට සූදානම් බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
එහෙත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ වන විට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර ඊට සමගි ජන බලවේගයේ කිසියම් විරෝධත්වයක් පළකර ඇති බවත් වාර්තා වේ.
මේ අතර එළැඹෙන 14 වැනිදා පැවැත්වෙන සමස්ත ලංකා මධ්‍යම කාරක සභාවට සහභාගී වන ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද ආරාධනා පත්‍රයක් යොමු කර ඇතැයිද වාර්තා වේ.
