Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 2025

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රනිල්ට ඇප දුන් නඩු තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
    Featured

    රනිල්ට ඇප දුන් නඩු තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න

    By LFNAugust 27, 2025No Comments6 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප තුනක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (26) නියම කළේය.

    කෙසේවෙතත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයා වෛද්‍ය නිර්දේශය මත අද නඩු විභාගයට සහභාගි නොවූ අතර ඔහු ZOOM ඔස්සේ සම්බන්ධ විය.

    ජනාධිපති ධුරය දැරූ සමයේ නිල විදෙස් සංචාරයක් නිම කර යළි එමින් සිටින අතරතුර එංගලන්තයට ගොස් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගිවීමෙන් රජයේ මුදල් අවභාවිතයක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සිකුරාදා CID අත්අඩංගුවට ගැනුණි.

    පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාරගත කළේය.

    කෙසේවෙතත් එහිදී ඇති වූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි.

    එවන් පසුබිමක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදාළ නීති කෘත්‍යය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද යළි කැඳවනු ලැබීය.

    නඩු විභාගය ඇරඹීමටත් පෙර උදෑසන සිටම එම අධිකරණ පරිශ්‍රය අවට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මගින් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබිණි.

    ඒ අනුව අද පස්වරු 1.40ට හිටපු ජනාධිපතිවරයාට අදාල නීති කෘත්‍යය ආරම්භ විය.

    එහිදී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍යයට සම්බන්ධ කරගනු ලැබුවේ ZOOM ඔස්සේය.

    මෙහිදී අධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.

    “ස්වාමිනි, පසුගිය නඩුවාරයේ අධිකරණය නියෝග කළා සැකකරු ඉදිරිපත් කළ වුල්ෆ්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් එවූ ආරාධනා පත්‍රය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. අපි ඒ පිළිබඳ විමර්ශනයක් කළා. නමුත් ඔය කියන ලිපියක් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයේ 2023 වර්ෂයට අදාළ ලිපිගොනුවේ නැහැ. ඒ වගේම ඔය ලිපිය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේවත්, ජනාධිපති කාර්යාලයේවත් ලිපි ගොනුවල සොයාගන්න නැහැ. ඒ වගේම ඔය කියන ලිපිය ගැන ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක දන්නෙත් නැහැ.ඒ වගේම මේ සංචාරය ගැන ලේඛනගත සාක්ෂි පරස්පරයි. එක පාරක් කියනවා Private Visit එකක් කියලා. ඊළඟට කියනවා Visit එකක් කියලා. පස්සේ ආයෙත් කියනවා Official Visit එකක් කියලා. සැකකරු කියනවානම් මේක Private Visit එකක් කියලා ඇයි ඒ ස්ථාවරයේ ඉන්නේ නැත්තේ? මේ ගමන ආරම්භවෙලා තියෙන්නේ ඔය කියන ආරාධනා ලිපියෙන් නොවේ. ඊට පෙර අපි පෞද්ගලික සංචාරයකට එනවා කියලා මොවුන් ලන්ඩනයේ මෙරට මහකොමසාරිස් කාර්යාලයට ලිපියක් යවා තිබෙනවා.”

    මෙහිදි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රශ්නගත සංචාරයේ වියදම් පිළිබඳව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කරුණු දැක්වුවේය.

    ” ස්වාමිනි, මේ සංචාරයට පෙර පැවති නිල රාජ්‍ය සංචාරයක් වෙන කියුබානු සංචාරයටත් වැයවෙලා තියෙන්නේ ලක්ෂ 50යි. එහෙම තියෙද්දි මේ පෞද්ගලික සංචාරයට රුපියල් ලක්ෂ 166ක් වැය කරලා තියෙනවා. මට කලින් සතියේ වැරදුණා මම කිව්වේ මේ සිදුවීම මහජන මුදල් අවභාවිතයක් කියලා.නැහැ ඒක ඓහෙම නෙවෙයි. මේක මහජන මුදල් කාබාසීනියා කිරීමක්. ”

    අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සැකකරුට ඇප ලබාදීමට තමන් දැඩිව විරුද්ධ බවට කරුණු දැක්වීය.

    ” මේ සැකකරු ඇප ලබාගැනීමට නම් පෙර දිනයේ ඉදිරිපත් කළ කරුණුවලට එහා ගිය අසාමාන්‍ය සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීමක් කරන්න ඕනේ. ස්වාමීනි මේ මොහොතේ සැකකරු ඉන්නේ ජාතික රෝහලේ.සැකකරු බලන්න දේශපාලඥයින් නෑගම්යනවා වගේ යනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැකකරුව බලලා ඇවිල්ලා කියනවා ඔහු සුවෙන් පහසුවෙන් ඉන්නවා කියලා. ඉතිං ස්වාමිනි මේ තත්ත්වය මත මේ සැකකරුට ඇප ලබාගන්න විත්තියේ නීතිඥයින් අසාමාන්‍ය කරුණු නොවෙයි, අසාමාන්‍යයෙනුත් අසාමාන්‍ය කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. එසේ ඉදිරිපත් නොවන්නේනම් සැකකරු නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ”

    අනතුරුව සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු දැක්වීම සිදු කළේය.

    “ස්වාමිනි, මා පළමුවෙන් කියන්න කැමති මේ නඩුව පැවරීමම මෝඩ වැඩක්. මොකද හිටපු ජනාධිපතිවරයා සහභාගි වූ මේ උත්සවයට ආරාධනා කරලා තියෙන්නේ ස්වරාජ් පෝල් සාමිවරයා. ඉතිං ඔහු වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත්වෙලා වසර 25ක් ගෙවෙන උත්සවයට තමයි ආරාධිතයෙක් ලෙස හිටපු රනිල් වික්‍රමසිංහ සහභාගි වුණේ. එහිදීම තමයි ඔය කියන උපාධි ප්‍රදානෝත්සවයත් සිදුවුණේ. ඉතිං මේ වගේ වැඩකට සහභාගිවෙලා අපේ රට ගැන කතාබහක් ඇතිකරන එක රාජ්‍ය මුදල් අවභාවිතයක් නොවේ. ස්වාමිනි, ඔය කියන විදිහට කියුබාවේ වියදමුයි, එංගලන්තයේ වියදමුයි සංසන්දනය කිරීමම විහිළුවක්. ප්‍රශ්නගත වර්ෂයට අදාළව ජාතික විගණන කාර්යාලය නිකුත් කරපු වාර්තාවේ මේ කරුණු කිසිවක් නැහැ. COPA එකේදිත් එවැනි කරුණක් අනාවරණය වී නැහැ. එවැනි තත්ත්වයක ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකුට මෙවැනි විගණනයක් කරන්න බලයක් නැහැ. මාගේ සේවාදායකයාට වයස අවුරුදු 76ක්. අද ඔබතුමියගේ අධිකරණයෙන් ඇප නොදුන්නහොත් ඊළඟට ඉහළ අධිකරණවලය යන්න පුළුවන්. ඒ නඩු ඔක්කෝම ඉවරවෙනකොට අවුරුදු 15ක් වත් යයි. එතකං මොහුව රිමාන්ඩ් භාරයේ තියාගන්නවාද? මමනම් හිතන්නේ මොහු එතෙක් ජීවත්වෙන එකකුත් නැහැ. ”

    පසුව පොදු දේපල පනත ප්‍රකාරව සැකකාර රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාගැනීම සඳහා ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සුවිශේෂි කරුණු ඉදිරිපත් කළේය.

    ” ස්වාමිනි මාගේ සේවාදායකයාගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මම පැහැදිලි කරන්න කැමතියි. ඔහුගේ හෘද වස්තුවේ පටක මියයාමක් තියෙනවා. හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 04න් 03ක්ම අවහිරවෙලා. සැත්කමක් කරන්න බැහැ හෘදයට ළඟ නිසා. මොහුට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් තියෙනවා. නින්දෙන් හුස්ම සිරවීමේ රෝගී තත්ත්වයක් තියෙනවා. සමහරවිට විනාඩි 2ක් – 3ක් සිරවී තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගන්න පුළුවන් ගොරවන සද්දය අනුවයි. ඒක තේරුම්ගන්න පළපුරුදු කෙනෙක් ඉන්න ඕනේ. මොහුගේ බිරිඳව එකට පුරුදු කරලා තියෙන්නේ. මේ තත්ත්වය මත මොහු නිදාගද්දි CPAP නම් මැෂින් එකකට සම්බන්ධ කරනවා. මේක නොමැති වුනොත් හෘදය නැවතීමට පවා පුළුවන්. මොහුට පෙනහළු ආසාදනයක් තියෙනවා. ශරීරයේ සෝඩියම් අඩුයි. අධි රුධීර පීඩනය, කැරකිල්ල තියෙනවා. ක්ෂණික හෘදයාබාදයක් එමේ සම්භාවිතාවක් තියෙනවා. අග්න්‍යාශයේ උඩ කොටසේ ආසාදනයක්. මේ සියලු රෝගී තත්ත්වයන් මත ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුවෙලා තියෙන්නේ. ස්වාමිනි කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕන ඔක්කෝම ලෙඩ ටික තියෙනවා. රනිල් වික්‍රමසිංහ නැමැති මගේ සේවාදායකයා ඉන්නේ බලවත් ජීවිත අවදානමක. එබැවින් තත්ත්වය සුවිශේෂි කරුණු ලෙස සලකා මොහු ඇප මත මුදාහරින්න කියා මා ඉල්ලා සිටිනවා. ”

    කෙසේ වෙතත් විත්තියේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙසේ ප්‍රතිචාර දැක්විය.

    ” ස්වාමිනි, මේ කියන විදිහට මේ සැකකරුර නව අනූවක් ව්‍යාධි තියෙනවා. එහෙම තියෙද්දි කොහොමද ඔච්චර දේශපාලඥයින් බලන්න යන්නේ. ඔහොම තියෙද්දිද පසුගිය නඩුවාරයේ ඉන්දියාවේ යන්න ඉල්ලුවේ. මගේ උගත් මිත්‍රයාම කියනවා තමන්ගේ සේවාදායකයා ලෙඩ ගණන් ගන්නේ නැහැ කියලා. එහෙනම් ඇයි අනුජ ගණන් ගන්නේ. අනික අපි රිමාන්ඩ් කරපුවාම තමයි මොහුගේ ලෙඩ දැනගෙන තියෙන්නේ. මේ බහුතරයක් වෛද්‍ය වාර්තා අරගෙන තියෙන්නේ ඊයේ. අනික පෞද්ගලික රෝහල්වලින්. මේවා කොහොමද අධිකරණය මේවා පිළිගන්නේ. අනික ඔය රෝගවලට ජාතික රෝහලේ ප්‍රතිකාර කරන්න බැහැ කියලා කිව්වෙත් නැහැ. එබැවින් මා ඉල්ලා සිටිනවා අධිකරණ වෛද්‍ය නිලධාරින්ගෙන් විධිමත් වාර්තාවක් කැඳවන්න කියලා. පසුගිය නඩුවාරයේ ඉදිරිපත් කළාට වඩා කිසිදු සුවිශේෂි කරුණක් අද ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරුන් මාරුවෙලා විතරයි. එබැවින් ඇප ප්‍රතික්ෂේප කර තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ”

    සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය සිය නියෝගය ප්‍රකාශයට පත් කළාය.

    ” අද දිනයේ අධිකරණයට ලබාදීමට තිබෙන්නේ අගෝස්තු 22 ලබාදුන් නියෝගයේ දිගුවක්. එදින සැකකරු සම්බන්ධයෙන් සිදුකළ සුවිශේෂි කරුණු දැක්වීම් වූ රෝගී තත්‍ත්වයන් පිළිබඳ ඉදිරිපත් කර තිබුණේ වෛද්‍යවරයෙකුගේ ලිපියක් පමණයි. නමුත් අද දිනයේ විත්තියේ නීතිඥයින් 2016 සහ 2017 වර්ෂවල විදේශීය රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා සහ මෑතකදී පෞද්ගලික රෝහලකින් ලබාගත් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 06 දෙනෙකුගේ කණ්ඩායමක් විසින්ද අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම වෛද්‍ය වාර්තාවල සත්‍යතාවය අධිකරණයට මේ අවස්ථාවේදී සලකා බැලිය නොහැකි අතර වෛද්‍යවරුන් ඒවා වගකීමෙන් නිකුත් කර ඇති බව අධිකරණය විශ්වාස කරනවා. ඒ අනුව සැකකරුට වර්තමානයේ පවතින රෝගී තත්ත්වය වෛද්‍යවරුන්ගේ සමීප නිරීක්ෂණයට ලක්විය යුතු බව අධිකරණයේ නිගමනයයි. “

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 2025

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 20250121 Views

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන…

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.