ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ මෙම නිදහස් කළ බහාලුම් සම්බන්ධව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවය.
බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව කිසිදු දේශපාලන මැදිහත්වීමක් හෝ දේශපාලන අවශ්‍යතාවයක් ද නොතිබූ බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එල්ලවන චෝදනා සම්බන්ධව නිවැරදි පිළිතුරු ලබා ගැනීම සඳහා ඉදිරියේදී එම කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා,
“ඒ සිද්ධිය සිදුවූ වහාම ජනාධිපතිතුමාගේ නියමයෙන් ජනවාරි 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානාත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගේ කමිටුවක් පත් කරලා වාර්තාවක් ලබා දීලා තියෙනවා… අපි දැඩිව අවධාරණය කරනවා කිසිම විදිහකට දේශපාලන මැදිහත්වීමක්, දේශපාලන අවශ්‍යතාවයක් මත සම්බන්ධ වෙලා නෑ… මේ ඉදිරිපත් වෙන ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු ලබා ගන්න, හොඳ අවබෝධයක් ලබා ගන්න මේ වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ලබා දෙනවා. එතකොට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ටත් මේක අධ්‍යයනය කරලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්.
මේ වෙනකොට මේ තියන වාර්තාවේ දේවල්වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්නුත් විමර්ශනයක් සිදුවෙමින් තියෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ දේ මේ වාර්තාව ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරන එක. අපේ කිසි මැලිවීමක් නැහැ… මේ වාර්තාව අපි ඉදිරිපත් කරනවා.”