ප්රශ්නගත දුම්රිය රියදුරාගේ වැඩ තහනම් කර ඇති බව ශ්රී ලංකා දුම්රිය සේවය පවසයි.
පසුගිය (30) කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ රියදුරුගේ නොමනා ක්රියාකලාපය හේතුවෙන් දෙපාර්තමේන්තුව මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද දැනුම්දෙයි.
කොළඹ සිට මහනුවර බලා පෙරේදා පෙරවරු 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා විය.
ඔහු දුම්රිය මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල ප්රදේශයේ ස්ථානයක නවතා දුම්රියෙන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා දුම්රිය නුවර දුම්රිය ස්ථානය තෙක් ධාවනය කර තිබුණි.
පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගනු ලැබීය.
මෙම දුම්රිය මහනුවරට ළඟාවීමට නියමිතව තිබුණේ ප.ව 1.40ටය. එහෙත් දුම්රිය පැමිණියේ සවස 2.30ට බව මගීන් පැවසීය.