Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
    Local News

    ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

    By LFNMay 29, 2024Updated:May 29, 2024No Comments7 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමිනි.

    මේ අතර ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන මේවනවිටත් වෙන්කර ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

    එංගලන්ත පාර්ලිමේන්තුව තුළ යම් නීතියක් සම්මත වූ පසු ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයේ පදනම එයයි. උත්තරීතර වන්නේ පාර්ලිමේන්තුවයි.

    ඇමරිකානු ක්‍රමවේදය මීට වෙනස්. ඇමරිකානු ක්‍රමවේදය මගින්, ඔවුන් යම් නීතියක් කෙටුම්පත් කරන විට, විධායක බලතල ජනාධිපතිටත්, ව්‍යවස්ථාදායක බලතල කොන්ග්‍රසයටත් සහ අධිකරණ බලතල අධිකරණයටත් ලබා දුන්නා.

    අපේ රට ෆෙඩරල් ක්‍රමයක් අනුගමනය නොකරන නිසා අප පවත්වාගෙන යන්නේ ඉංග්‍රීසි ක්‍රමයයි.ෆෙඩරල් ක්‍රමයට යාමට ඉන්දියාවට සිදු වූයේ ඔවුන් ෆෙඩරල් රටක් වූ නිසායි. නමුත් අපි ෆෙඩරල් රටක් නොවේ. අපේ රටේ නීති සම්පාදනය පිළිබඳ අවසාන බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි.

    ශ්‍රී ලංකාවේ පාලන ක්‍රම කිහිපයක් තිබුණා. එක් ක්‍රමයක් එංගලන්ත ක්‍රමය, එයින් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. අනෙක විධායක ජනාධිපති ක්‍රමයයි. විධායක බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. ව්‍යවස්ථාදායක බලතල තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. එවිට ජනාධිපති එක පක්ෂයකින් සහ ව්‍යවස්ථාදායකය තවත් පක්ෂයකින් පත් වෙන්න පුළුවන්. ස්විස් පාර්ලිමේන්තු ක්‍රමයට අවධානය යොමු කළහොත් එහිදි පාර්ලිමේන්තුවෙන් ෆෙඩරල් කාරක සභාවට හත් දෙනෙක් පත් කරනවා. විධායක බලතල තිබෙන්නේ ෆෙඩරල් කවුන්සිලයටයි.

    එහි සම්ප්‍රදායක් තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පක්ෂ දෙකට මන්ත්‍රී ධූර දෙක බැගින් ලබා දෙනවා. සෙසු පක්ෂවලට එක් මන්ත්‍රී ධූරයක් බැගින් ලබා දෙනවා. ඒ අය පත් කළාට පසුව ආයතන බෙදා ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මන්ත්‍රීවරුන්ට හැකියාව තිබෙනවා. විධායක බලය යොදවන්නේ ඒ සියලු දෙනා එකතු වෙලා. කැබිනට් මණ්ඩලයට ඇමතිවරු පත් කිරීමට සහ ඉවත් කිරීමට අගමැතිවරයාට බලතල තිබෙනවා. වසරකට වරක් එම හත්දෙනාගෙන් කෙනෙක් සභාපති වෙනවා.

    අනෙක් ක්‍රමය වන්නේ ශ්‍රී ලංකාවේ පැවතුණු ඩොනමෝර් ක්‍රමය. එම ක්‍රමයේදී විධායක ක්‍රමය කොටස් හතකට බෙදුණා. එයින් කෙනෙක් කථානායකවරයා ලෙස කටයුතු කළා. ඒ හත්දෙනාගෙන් කෙනෙක් සභාපති ලෙස තෝරා පත් කර ගත්තා. ඒ සභාපති ඇමති ලෙස දිවුරුම් දුන්නා. ඒ ඇමතිවරුන්ගෙන් කෙනෙක් සභානායකවරයා ලෙස තෝරා පත් කර ගත්තා. ආණ්ඩුකාරවරයා තවත් ලේකම්වරු තුන්දෙනෙක් පත් කරගත්තා. ඇමති මණ්ඩලය ලෙස කටයුතු කළේ දහදෙනයි. මේ දහ දෙනාගෙන් ප්‍රධාන ලේකම් සභාපතිවරයා ලෙස කටයුතු කළා. තීරණ ගනු ලැබුවේ මේ මණ්ඩලය රැස්වෙලා.

    ඉන් පසුව ප්‍රංශ ක්‍රමය පැමිණියා. එහිදී මහජන ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගනු ලබනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත් කරනු ලබන්නේ මහජනතාව විසිනුයි. ලංකාවේ බොහෝ දුරට ක්‍රියාත්මක වෙන්නේ මේ ක්‍රමයයි. මෙම ක්‍රමයේ වාසි සහ අවාසි දෙකම තිබෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරය හොඹවමින් රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළා. මහවැලිය, සමනල වැව, ලුණුගම්වෙහෙර වැනි විශාල ව්‍යාපෘති ඉදි කළා. කෝට්ටේ අගනුවරක් බවට පත් කළා.

    වෙළඳ කලාප දෙකක් ආරම්භ කළා. වසර 11 ක කාලයක් තුළ යුද්ධයක් කරන අතරතුර මේ සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළා.

    ඒ වගේම ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කර්මාන්තශාලා දෙසීයක් පමණ ආරම්භ කළා. විධායක ජනාධිපති ධූරය නොතිබුනා නම් ශ්‍රී ලංකාවට යුද්ධය ජය ගැනීමට ලැබෙන්නේ නෑ. විදේශ රටවල් බලාපොරොත්තු වුණේ ලංකාව ඇතුලේ අර්බුදයක් ඇතිවී ආණ්ඩුව කඩා වැටෙයි කියලා. ජනාධිපතිවරයෙක් හිටපු නිසා ඒ බලය කිසි කෙනෙකුට ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එම බලය තිබුණ නිසා තමයි හමුදාව යොදවලා යුද්ධය ජය ගැනීමට හැකිවුණේ.

    යහපාලන ආණ්ඩුව සමයේ එය නිසි ලෙස සිදුවුයේ නැහැ. විධායක ජනාධිපතිවරයා වෙනමත්, අප වෙනමත් වැඩ කටයුතු කරගෙන ගියා. අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබු නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. එදා අගමැතිකම බාර ගැනීමට කිසිවෙක් හිටියේ නැහැ. එවකට ජනාධිපතිවරයා නැවට නැගලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා.

    එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, නැතිනම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මම එය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දි, රටින් පිටවී මාලදිවයිනට යන විට මට ඉල්ලා අස්වීම ලබා දීමට හැකියාවක් නැහැ. කිසිවෙකුගේ බලපෑමට හෝ, මගේ නිවස ගිනි තැබු නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිට කවුරුන් හෝ බලය ලබා ගන්නවා.

    ඉදිරියේදී අප ජනාධිපතිවරණය පත්වනවා. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නැහැ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අප සකස් කළ යුතුයි. මේ වන විටත් විධායක බලතලවලින් ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. තවත් කොටසක් කොමිෂන් සභාවලට ලබා දී තිබෙනවා. එසේම පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා යොදවා තිබෙනවා. තව පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ගෙන ආ පසු ජනාධිපතිවරයාගේ බලතල පාර්ලිමේන්තුවට බෙදී යනවා.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිවයුතු බවට නීති සම්මත කර ගැනීම අවශ්‍යයි. අලුතෙන් ගෙන එන ආර්ථික පරිවර්තන පනත මගින් ආණ්ඩුවේ ඉදිරි වසර 04ක සැලැස්ම ඉදිරිපත් කළ යුතුයි. එක් එක් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩසටහන්වලට අදාළ ප්‍රගතිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට කිව යුතුයි. කරු ජයසූරිය මහතා යෝජනා කර තිබෙන ජන සභා ක්‍රමය ඉතා ප්‍රායෝගිකයි. ඉදිරියේදී පැමිණීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා නීතියත් ඉතාම ප්‍රායෝගික බව කිවයුතුයි.

    මෙහිදී මතු කළ ප්‍රශ්න සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට ලබාදුන් පිළිතුරු මෙසේය.

    ප්‍රශ්නය,

    ඔබතුමා සතුව පවතින අත්දැකීම් අනුව ජාතික ක්‍රියාකාරී සැලසුම් අසාර්ථක වීමට බලපෑ හේතු මොනවාද ?

    පිළිතුර,

    මෙහි ප්‍රශ්නය වන්නේ බොහෝ රජයන්ට ප්‍රතිපත්ති නොතිබීමයි. මේ තත්ත්වය සමඟ අවුරුදු හැත්තෑ හතක් අප ගත කර තිබෙනවා. 2015 වසර වන තෙක් යුද්ධය ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබුණා. ඒ නිසා ප්‍රතිපත්ති සකස් කළේ නැහැ. ඒ වගේම අපගේ ආර්ථික ක්‍රමය වෙනස් වුයේ ද නැහැ. ඒ නිසා අපට පසුගිය වසර කිහිපය තුළ විශාල පීඩාවකට ලක්වීමට සිදු වුණා.

    යුද්ධය ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කළා. 2001 වසරේද රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණා. ඉන් පසුව සුනාමිය ආවා. යුද්ධය අවසන් වුවත් ඉන් පසුව අපට කිසිදු සැලැස්මක් තිබුණේ නැහැ.

    2015 වසරේදී අග්‍රාමාත්‍යවරයා ලෙස මම ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළා. ප්‍රාථමික අයවැයෙන් අතිරික්තයක් ඇති බවත් එයින් ඔබ්බට නොයන බවට සහතික වීමටත් මට හැකි වුණා. අප තවමත් ආනයන මත යැපෙන ආර්ථිකයක් බවට පත්ව සිටිනවා.

    කෘෂිකර්මාන්තය වෙනුවෙන් අපට ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අනුරාධපුර රජ දවස සිට අප කුරුඳු, තේ, රබර්, පොල් අපනයනය කළා. 1948 වසරෙන් පසු අප මහවැලි සහ ගල්ඔය වැනි ව්‍යාපාර විවෘත කළා. නමුත් කෘෂිකර්මාන්තය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කළේ නැහැ. ඒ නිසා මේ රට ගොඩනැගීමේදී කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන ආර්ථිකයක් ඇති කිරීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ.

    1977 වන තෙක් අප නිදහස් වෙළෙඳ කලාප වෙත ආයෝජන ලබා ගැනීමට කටයුතු කළද ඉන් පසුව ඒවා ගැන උනන්දු වුණේ නැහැ. එහිදී අපට පිටුපසින් සිටි රටවල් අපව පසුකරගෙන ඉදිරියට ගියා. තායිලන්තය අපට සමාන ආර්ථික මට්ටමක සිටියා, ඔවුන් අප පසුකර ඉදිරියට ගියා. මැලේසියාව, වියට්නාමය, බංග්ලාදේශය වැනි මේ සියලු රටවල් ද ඉදිරියට ගියා. ඒ නිසා පළමුව අපේ දේශපාලනික අවධානය යොමු කළ යුත්තේ ප්‍රතිපත්ති අධ්‍යයනය පිළිබඳවයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. විදේශ රටවල්වලට ගොස් විශාල මුදලක් වැය කර ලබා ගන්නා උපාධි මේ රට තුළම ලබා ගැනීමට තරුණ පරපුරට අවස්ථාව හිමි විය යුතුයි. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය සමඟ අප ඉදිරියට යා යුතුයි. අවදුරුදු 75ක මගේ ජීවිතය තුළ මම බොහෝ අත්දැකීම් ලබා තිබෙනවා. ඔබ සියලුදෙනා අයිති Z පරම්පරාවට. ඔබ මේ තරගය තුළ ඉදිරියට යා යුතුයි. ඔබගේ අනාගතය පිළිබඳ ඔබ සිතා බැලිය යුතුයි. ලෝකය සමග තරගකාරීව ඉදිරියට යා හැකි දියුණු රටක් අප ගොඩනැඟිය යුතුයි.

    ප්‍රශ්නය,

    ජනාධිපතිතුමනි, දේශගුණික විපර්යාස පිළිබඳව මෙන්ම සියලු සතුන්ගේ ආරක්ෂාව පිළිබඳ ඔබ දක්වන විශේෂ අවධානය අප අගය කරනවා. යෝජිත සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳ ඔබේ අදහස සහ එය සම්මත කිරීමට ගතවන කාලය පිළිබඳ දැන ගැනීමට කැමතියි ?

    පිළිතුර,

    සත්ව සුභසාධන පනත මේ වන විට අධීක්ෂණ කමිටුව තුළ සාකච්ඡා වෙමින් තිබෙනවා. මෙම අගෝස්තු මාසය වන විට සම්මත කර ගැනීමට පනත් කෙටුම් පත් බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. එබැවින් එය මෙම සැසිවාරයේදී සම්මත කර ගැනීමට හැකි වෙයිද කියා කිව නොහැකියි. එම නිසා එය ලබන වසරට කල් දැමීමට සිදු වෙනවා. කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව නීති කෙටුම්පත් කිහිපයක් සම්මත කර ගැනීමට අප ප්‍රමුඛත්වය දී තිබෙනවා. ඉන් පසුව දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන එනවා. ඒ වගේම ආර්ථික පරිවර්තන පනත ගෙන ඒමට තිබෙනවා.

    බොහෝ විට අපරාධයකින් උපයාගත් ආදායම පිළිබඳ පනතත් ඉදිරිපත් වනු ඇතියි. අපි දූෂණ විරෝධී පනත සම්මත කළා. අපරාධවලින් ලැබෙන ආදායම පිළිබඳ පනතත් ඉදිරිපත් කළා. ජනාධිපතිවරණයෙන් පසු ඉතිරි ඒවා ද සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ කටයුතු තරමක් වැඩි වී තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.