මෝටර් රථ කුලී පදනම මත ලබාගෙන ඒවා කැබලි කරන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව, එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු එම කොඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් අගෝස්තු මස 05 වනදා පුද්ගලයන් දෙදෙනෙකු විසින් කුලී මෝටර් රථයක රියදුරුට මත්වන්නට යමක් දී ගිනිඅවියක් පෙන්වා බියගන්වා මෝටර් රථයක් හඳපාන්ගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් තිබුණි.
ඒ පිළිබඳව විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරුණේ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදිය.
එහිදී අනාවරණය වුණේ කඩවත ප්‍රදේශයේදී කුලී රථ සපයන ස්ථානයකින් අදාළ මෝටර් රථය සැකකරුවන් දෙදෙනා ලබාගෙන ඇති බවය.
අනතුරුව එහි රියදුරුට එම ප්‍රදේශයේ වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදීගත් කිරි බෝතලයක් ලබාදී ඇත්තේ මත්වීමට යමක් එක් කරමිනි.
ඊට අදාළ CCTV දර්ශන පෙළක්ද මධ්‍යට නිකුත් කර තිබුණි.
පසුව පොලීසිය අදාළ සැකකරුවන් දෙදෙනාගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, බස් රථයක් තුළ නැතිවූ මුදල් පසුම්බියක තිබූ ජාතික හැඳුනුම්පතක් මගින් සිම්පත් ලබාගෙන ඇති බවය.
ජංගම දුරකථනවල එමි අංක පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ, රත්මලාන හා අත්තිඩිය යන ප්‍රදේශවල භාණ්ඩ උකස්ගන්නා ස්ථානයකින් ජංගම දුරකථන දෙක මිලදී ගෙන ඇති බවය.
ඒ අනුව සැකකරුවන් හඳුනාගත් කොළඹ අපරාධ කොට්ඨාසය අයිස් මත්ද්‍රව්‍ය ද සමග ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ මෝටර් රථය මෝටර් රථ කැබලි කරන ස්ථානයකට ලබාදී රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගත් බවය.
එම මුදලින් කැසිනෝ ක්‍රීඩා කළ බව ද සැකකරුවන් පවසා තිබේ.
අනතුරුව මෝටර් රථ කොටස් කළ ස්ථානය පවත්වාගෙන යන පුද්ගලයාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සැකකරන්නේ මොවුන් තවත් මෙවැනිම ක්‍රියා සිදුකර ඇති බවටය.
ඒ අනුව වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.