ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචාකර සැඟව සිටි කාන්තාවක් මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.
51 හැවිරිදි සැකකාරිය කඩවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් 250කට ආසන්න පිරිසකගෙන් රුපියල් කෝටි 100ක් පමණ වංචාකර ඇත.
පසුව ඇය ගනුදෙනුකරුවන් මඟහරිමින් අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල ආදී ප්‍රදේශවල සැඟව සිට ඇති අතර ඇයට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වංචා වැටලීම් ඒකකයට පමණක් පැමිණිලි 180ක් පමණ ලැබී තිබේ.
සැකකාරියට මහර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 36ක් සහ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 11ක් නිකුත් කර තිබූණ ද ඇය විවිධ ප්‍රදේශවලට පළා යමින් සැඟව සිටීම නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකිව තිබූ බව පොලීසිය පැවසුවේය.
පසුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව – හලාවත මාර්ගයේ කුලී නිවසක සැඟව සිටියදීය.
ඇය සමීප සබඳතා පවත්වාගෙන ගිය, රැකියාව අහිමිවූ පොලිස් නිලධාරියෙකුද ඇයට අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය මාර්තු 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.