මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ශිරාන් බාසික්ගේ’ සමීපතමෙයක් හෙරොයින් සමග විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ් අවස්ථාවේදී ශිරාන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික්ද සිට ඇති අතර ඔහු පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.
කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සැකකරු පසුගිය (16) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්තේ පිහිටි අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණ පරිශ්‍රයකදීය.
සැකකරු පැමිණි මෝටර් රථය පරීක්ෂා කිරීමට යෑමේදී විශේෂ කාර්ය බළකා නිලධාරියෙකුද අනතුරට ලක්කරමින් පළායෑමට උත්සාහ කර තිබේ.
පොලීසිය සඳහන් කළේ එම අවස්ථාවේදී සැකකරු සමග ශිරන් බාසික්ගේ පුත්‍රයා වන නදීන් බාසික් නැමැත්තාද සිට ඇති බවය.
පසුව ඔවුන් මෝටර් රථයෙන් බැස දිවයන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක සටහන්වී තිබුණි.
එම අවස්ථාවේදී ඔවුන් පසුපස හඹායන නිලධාරීන් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත්තද ඒම රූපරාමුවල සිටින ශිරාන් බාසික් නැමැත්තාගේ පුත්‍රයා පළාගොස් තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී සුඛෝපභෝගී මෝටර් රථ තුනක යතුරු තිබී ඇති අතර ඒ්වා පරීක්ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් ග්‍රෑම් 19ක් හා විදෙස් මුදල් තොගයක් ද සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් රුපියල් ලක්ෂ තුනහමාරක කුලී පදනම මත අදාළ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක රැඳී සිට ඇති බවය.
එම නිවස තුළ තිබී රහසිගත ලේඛන කිහිපයක් ද පොලීසියට හමු වී තිබුණි.
ඒවා අතර සැකකරු විසින් විවිධ පුද්ගලයන්ට ලබාදුන් මුදල් පිළිබඳවද වාර්තා ද ඇති බව සඳහන්ය.
සැකකරු ටෙලර් යන්ත්‍ර මගින් විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට මුදල් බැරකර එම රිසිට්පත් වෙනමම තබාගෙන ඇති අතර එලෙස මුදල් බැරකර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.
එලෙස මුදල් බැර කළ පුද්ගලයන් අතර ‘පොලිස් අම්මා’ නමින් මුදල් බැරකළ වාර්තාවක් ද ඇති බව පොලීසිය පැවසීය.
එමෙන්ම ශිරාන් බාසික් නැමැත්තාගේ පුත්‍රයාගේ ගුවන් ගමන් බලපත්‍රය නිවසේ තිබී ඇති අතර විමර්ශන නිලධාරීන් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගෙන තිබේ.
මේ අතර අත්අඩංගුවටගත් සැකකරු අනතුරට ලක්කළ විශේෂ කාර්ය බළකා නිලධාරියා මේ වනවිට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි.