මරණීය තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොට්ටාව බස් නැවතුම්පොළේ නවතා තිබූ බස්රථයක රියදුරෙකුට කිසියම් පුද්ගලයෙකු රුපියල් 20,000ක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලීසිය පවසයි.
අනතුරුව ඔවුන් පිටකොටුව බස් නැවතුමට පැමිණ රථය නවතා තිබිය දී බස් රථයට නැගි පුද්ගලයෙකු රියදුරුගේ ඡායාරූපයක් ලබාගෙන තිබේ.
ඒ පිළිබඳ සැක සිතූ රියදුරු ඇතුළු පුද්ගලයින් අදාළ පුද්ගලයා අල්ලා දුරකථනය පරීක්ෂා කිරීමේ දී රියදුරුගෙන් ලබාගත් ඡායාරූපය වට්ස්ඇප් ඔස්සේ විදේශීය දුරකථන අංකයට යොමු කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
පසුව විදේශීය දුරකථන අංකයකින් අදාළ රියදුරුට රුපියල් 25,000ක කප්පමක් ගෙවන ලෙසට තර්ජනාත්මක ඇමතුමක් ලැබී තිබේ.
මේ සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන දින 07ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ සිදු කරනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබේ.