දීර්ඝ කාලයක් තිස්සේ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන විවිධ අපහාස කිරීම් පාලනය කිරීම සඳහා නීති හඳුන්වාදීම වරදක් නොවන බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන නා හිමි පවසයි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (01) මහා නායක හිමි බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහා නායක හිමි පැවසුවේ කිසිදු පදනමකින් තොරව පසුගිය කාලයේදී තමන් වහන්සේට ද ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බවය.
සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට බාධාවකින් තොරව එය භාවිත කිරීමේ හැකියාව තිබිය යුතු බවද මහා නායක හිමි වැඩිදුරටත් පැවසුවේය.
එසේම දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බවද මහා නායක හිමි පවසයි.