නාරම්මලදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ රොෂාන් කුමාරතිලක වෙනුවෙන් පොලීසියෙන් ලබාදුන් වන්දි මුදල පිළිබඳව පවුලේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
වෙඩි වැදීමෙන් මියගිය රොෂාන් කුමාරතිලකගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (21) එම නිවසට පැමිණි අවස්ථාවේ දී පොලීසියෙන් ලබාදුන් රුපියල් මිලියනයක වන්දිය පිළිබඳ මියගිය රොෂාන්ගේ බිරිඳ ද මෙලෙස සිය විරෝධය පළ කර ඇත.
ඇය පවසා ඇත්තේ සිය සැමියා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා නම් එය ලිඛිතව තමාට ලබා දිය යුතු බවය.
සිය සැමියාගේ ජීවිතය මිල කළ නොහැකි බවත් සිය දරුවන් වෙනුවෙන් හෝ සාධාරණයක් ඉටු කරන ලෙසටද ඇය එහිදී ඉල්ලා සිට ඇත.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට විරෝධය පළ කරමින් පිරිසක් ඊයේ (21) පෙරවරුව් නාරම්ල නගරයේදී විරෝධතාවක නිරත විය.
නාරම්මල, රන්මුතුගලදී ලොරි රථය පරීක්ෂා කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තිදරු පියෙකු වූ 41 හැවිරිදි රොෂාන් කුමාරතිලක ට දිවි අහිමිවුයේ පසුගිය 18වනදාය.
රොෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකළේය.
ඒ වෑත්තෑවකන්ද පොදු සුසාන භූමියේදීය.
මේ අතර ඊයේ පැවති වැඩසටහනක් අතරතුර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාරම්මල සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කරන බවත් එවැනි සිදුවීම් යළි සිදුනොවීමට වග බලාගන්නා බවත්ය.