ගල්කිරියාගම පොලීසියේ පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී ආවේගශීලීව හැසිරෙමින්, උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදා භටයකු අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රාජකාරි කරමින් සිටින, දිවුල්වැව පදිංචි, ගුවන් හමුදා භටයකු බව පොලීසිය කියයි.
මෙම ගුවන් හමුදා භටයාට එරෙහිව ලද පැමිණිල්ලක් මත වගඋත්තරකරු වශයෙන් ඔහු කැඳවා පෙරේදා (23 වැනිදා) පස්වරුවේ පැමිණිල්ල විභාග කරමින් සිටි අතරතුර සැකකාර ගුවන් හමුදා භටයා එහි ආවේගශීලීව හැසිරී ඇති බව පොලීසිය පවසයි.
පොලීසියේ ආවේගශීලීව හැසිරීමෙන් වළකින ලෙස උප පොලිස් පරීක්ෂකවරයා කළ දැනුම්දීමකට උරණ වූ ගුවන් භටයා ඔහුගේ මුහුණට පහර කිහිපයක් එල්ල කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා ගල්කිරියාගම රෝහලට ඇතුළත් කර ඇත.