දිවයිනේ ප්‍රදේශ කිහිපයක තිබී මළ සිරුරු කිහිපයක් හමුවූ බව පොලීසිය පවසයි.
පල්ලේකැලේ කාර්මික ජනපදයේ මහවැලි ජල පවිත්‍රාගාරය අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් ඊයේ (31) හමුවී තිබේ.
එම මළ සිරුර ජලයේ පාවෙමින් ඇති බවට පල්ලේකැලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වන කලගොල්ලාගොඩ, පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට මරණකරු හැඳ සිටි කලිසමේ සාක්කුවක තිබී හමුවූ ඔහුගේ ජාතික හැඳුනුම්පතෙන් අනාවරණය වූ බව පොලීසිය පවසයි.
මෘත ශරීරය මරණකරුගේ බිරිඳ විසින් හඳුනාගෙන ඇති අතර පසුගිය 28 වන දින මියගොස් ඇති පුද්ගලයා නිවසින් පිටව ගොස් නැවත නොපැමිණි බවට ඇය විසින් වත්තේගම පොලීසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර, මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේ මළ සිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට පසුව අනාවරණය වුණි.
එම පුද්ගලයාගේ ශරීරයෙන් ලේ වහනය වෙමින් මියගොස් ඇති අතර, මෙය පහරදීමක් හේතුවෙන් සිදුවු මරණයක් බවට පොලීසිය සැකපළ කරයි.
කෙසේවෙතත් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ, පසුගිය 29 වනදා මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් ඔහු අතුරුදන් වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් සිදුකර ඇති බවය.
මේ අතර වැලිකඩ පොලිස් වසමේ මොරගස්මල්ල ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 87 හැවිරිදි රාජගිරියේ පදිංචි වයෝවෘධ කාන්තාවකි.