ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය සමත් විය.
යතුරුපැදි දෙකකින් සහ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඔවුන් සන්තකයේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 2ක් සහ තියුණු ආයුද 2ක් ද සොයා ගැණුනි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ “හීනටියන මහේෂ්ගේ” උපදෙස් අනුව තුෂාර නැමති මිනුවන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට යමින් සිටි බවය.
“හීනටියන මහේෂ්” නමැත්තා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගැනීමෙහි නිරතව ඇති අතර, “මිනුවන්ගොඩ තුෂාර” නමැති ව්‍යාපාරිකයාගෙන්ද අවස්ථා කිහිපයකදී එලෙස කප්පම් ඉල්ලූ බවද වාර්තා වෙයි.
තමන් විසින් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත පැමිණිලි කළ බවට චෝදනා කරමින් “හීනටියන මහේෂ්” තවත් ව්‍යාපාරිකයෙකුට දුරකතනයෙන් තර්ජනය කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.