වගා හානි සඳහා වන්දි ලබාදීමේදී ගොවීන් වියදම් කළ සියල්ල තක්සේරු කර වන්දි ගෙවීම සිදුකළ යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි.
නියඟයෙන් වී වගාවට හානි සිදුවූ අම්බලන්තොට ලියන්ගස්තොට ගොවීන් හමුවීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (26) දහවල් පැමිණ තිබුණි.
එහිදී අදහස් දැක්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.
“මේ එක ගොවියෙක් රුපියල් 150,000කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා අක්කරයක් වෙනුවෙන්. සියල්ල තක්සේරු කරලා මේ ගොවීන්ට වන්දියක් ගෙවන්න අධිකරණයෙන් නියෝගයක් නිකුත්කරන්න කියලා අපි ඉල්ල සිටිනවා.”
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ගොවීන්ට දෙන වන්දි මුදල ඉහළ නැංවීම සඳහා තමා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවය.