නියඟය හේතුවෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර ප්‍රමාණය 46,000 ඉක්මවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සිදුකළ නවතම තක්සේරු වාර්තාවට අනුව ඊයේ වනවිට හානියට පත්ව ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 46,904.54කි.
වගා හානියෙන් ගොවීන් 41,402 ක් අගතියට පත්ව තිබේ.
වැඩිම බලපෑම් එල්ල වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 23,286 කට විනාශ වී ඇති අතර ඉන් අගතියට පත්ව ඇති ගොවීන් සංඛ්‍යාව 27,904කි.
දෙවැනියට වැඩිම වගා හානියක් සිදුව ඇත්තේ උඩවලව කලාපයටය.
එම කලාපයේ කුඹුරු අක්කර 14,667 කට හානි සිදුව ඇති අතර අගතියට පත්ව ඇති ගොවීන් ගණන 5,867කි.
වී වගාවට පමණක් සෙසු බෝග වගාවන්ටත් වියළි කාලගුණය දැඩි බලපෑම් එල්ලකර තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙණිය, ඕකන්දයාය සහ බුකැන්දයාය ආදී ප්‍රදේශවල වසර 25 ක් 30 ක් පැරණි ගම්මිරිස් වගාවන් මෙලෙස විනාශයට පත්ව ඇත්තේ, ජලය නොමැතිවීමෙනි.
මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් හීරලුගම ගම්මානයේ වැව සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති අතර ඉන් පෝෂණය වූ ගොඩ බෝගවගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබේ.
මේ අතර ජල සම්පත් මණ්ඩලය පවසන්නේ, පවතින වාතාවරණය යටතේ ළිංවල ජල මට්ටම් සහ එහි ගුණාත්මකභාවය අඩුවීමේ තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.
එසේම උතුරුමැද, වයඹ හා නැගෙනහිර පළාත්වල ලොකු කුඩා වැව් 2000කට දියවර සපයන මොරගහකන්ද ජලාශයේ ජල මට්ටමද පවතින වියළි කාලගුණය හමුවේ සැළකියයුතු ලෙස පහළ යමින් තිබේ.
මෙවැනි පසුබිමක රටේ පවතින පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා විෂයභාර අමාත්‍යාංශ 3 ක් ඒකාබද්ධව කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තීරණය කර තිබේ.
අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළැඹ තිබුණි.
මේ අතර පවතින මෙම කාලගුණ තත්ත්වය හමුවේ ජල විදුලි නිෂ්පාදනය 18% දක්වා පහළ බැස ඇතැයි විදුලි ඉංජිනේරුවන් පවසයි.
ඊයේ දිනයේ මෙරට ගිගාවොට් පැය 49.6 ක විදුලි ධාරිතාවක් නිපදවා ඇති අතර ඉන් 63.8% ක්ම නිපදවා ඇත්තේ තාප විදුලි මූලාශ්‍රවලිනි.
තාප විදුලි නිෂ්පාදනය ඉහළයාම නිසා දෛනිකව ඒ වෙනුවෙන් රුපියල් කෝටි 160 ක් දැරීමට සිදුව ඇති අතර ඒ අනුව දෛනිකව දැරීමට සිදුව ඇති වියදම අමෙරිකානු ඩොලර් මිලියන 5 කි.
පවතින වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් ඉදිරියට පැවතියහොත් මෙම වියදම ඉහළ යා හැකි බව විදුලි ඉංජිනේරුවන් පෙන්වා දෙයි.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, පළාත් කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වය කෙරෙහි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවය.