දේශීය කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කිරීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟතාව පළ කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ ප්‍රධාන කුකුළු මස් නිෂ්පාදනකරුවන් අද (01) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට වෙළෙඳපොළේ කුකුළු මස් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා පනවා ඇති රුපියල් 75ක ආනයනික බද්ද බවත්, එය රුපියල් 25ක් දක්වා අඩු කරදෙන ලෙසත් ව්‍යාපාරිකයන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.
ඒ අනුව කුකුළු මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 100කින් අඩු කිරීමට ඔවුන් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුම්දෙයි.
මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, බඩඉරිඟු සඳහා වන ආනයනික බද්ද රුපියල් 25ක් දක්වා අඩු කිරීමේ යෝජනාව ද අද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එකඟතාව පල කර ඇත.
එමෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය පහත වැටෙන අවස්ථාවල එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීම සදහා පියවර ගැනීමටත් කුකුළු මස් කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර තිබේ.