අඟුරුවාතොට ප්‍රදේශයේදී කාන්තාවක් සහ ඇගේ කුඩා බිළිඳිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (22) උදෑසන වරකාගොඩ ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ මාස 11ක් වයසැති කුඩා දියණිය පසුගිය 18 වන දින සිට අතුරුදන්ව තිබූ අතර, ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු ඊයේ උදෑසන නිවස අසල පිහිටි ලඳු කැලෑවක තිබී සොයාගෙන තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් එම කාන්තාවගේ ස්වාමී පුරුෂයාගේ ඥාතියෙකු වන පුද්ගලයෙකු පිළිබඳ සැක මතුව තිබු අතර, ඔහු නිවසින් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කළේය.
ඒ අනුව ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් අද උදෑසන සැකකරුගේ වරකාගොඩ පිහිටි නිවසට ගොස් තිබිණි..
එහිදී සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු පොලිස් නිලධාරීන්ට තියුණු ආයුධයකින් පහර දීමට උත්සහ කර ඇති අතර ,එය වැළැක්වීම හේතුවෙන් ඔහු තියුණු ආයුධයෙන් තමාටම තුවාල සිදු කරගත් බවද පොලිසිය පවසයි.
සැකකරු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.