කුලී ගමනක් යන බව පවසා ප්‍රසිද්ධ කුලීරථ සේවා ආයතනයක රථයකට නැග එහි රියදුරුගෙන් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද (01)කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා හමුවට පමුණුවනු ලැබූ අවස්ථාවේ දීය.
අධිකරණයේ දී පොලීසිය සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවත් පොලීසිය එහිදී පවසා ඇත.
ඒ අනුව, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.
එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු එළැඹෙන 09 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදින ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසත් නියම කර තිබේ.
