දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බණ්ඩාරගම, හික්කඩුව, හොරණ සහ ඇඹිලිපිටිය යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
බණ්ඩාරගම, ගල්තුඩේ ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ බස් රථය බණ්ඩාරගම – කළුතර මාර්ගයේ බස් නැවතුමකින් මගීන් නංවාගෙන ඉදිරියට ධාවනය කිරීමේදී මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ කාන්තාව පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
මියගිය කාන්තාව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර, හික්කඩුව පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 52 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.
හික්කඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයේ දකුණු පස පිහිටි අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් සහ පසුපැදිකාරියක් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී පසුපැදිකාරියක් මියගොස් ඇත.
එමෙන්ම, හොරණ පොලිස් වසමේ ඇල්ලකන්ද මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක් පෙරළීමෙන් එහි රියැදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සොරණවත්ත දෙසට රබර් දර ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථය රියැදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෑවුමකට පෙරළී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි රියැදුරු හොරණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මේ අතර, ඇඹිලිපිටිය – මොරකැටිය මාර්ගයේ තුන්වන කණුව ආසන්නයේදී යතුරුපැදියක් මෝටර් රථයක සහ ගිලන් රථයක ගැටීමෙන් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මොරකැටිය දෙසට ධාවනය වූ යතුරුපැදිය ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ මෝටර් රථයක ගැටී ඇති අතර, අනතුරුව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ගිලන් රථයක ද ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔහු සෙවනගල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි බවද සඳහන්.
