කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති බව සඳහන්ය.
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්‍රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ගෙනඑනු ලැබේ.
තම පක්ෂය මීට පෙර ඉදිරිපත් කරන ලද වරප්‍රසාද ප්‍රශ්න සහ යෝජනා කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා කථානායකවරයා ප්‍රතික්ෂේප කළ බවද සමගි ජන බලවේගය චෝදනා කර සිටී.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළ අතර, එහි ප්‍රථම අත්සන සජිත් ප්‍රේමදාස මහතා විසින් යොදනු ලැබීය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත අද යොමුකරන බව එම සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.