වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (01) දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පොලිසිය සඳහන් කළේ, පසුගිය අගෝස්තු 17 වනදා අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සැකකරු ආධාර අනුබල ලබාදී ඇති බවට අනාවරණය වී ඇති බවයි.
සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත, එම අපරාධය සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයාගෙන තිබේ.
අදාළ අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම යතුරුපැදියේ සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු, පසුගිය ජූලි 19 වනදා දෙහිවල පොලිස් වසමේ සුසාන භූමියක් තුළදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට මෙන්ම, ජූලි 21 වනදා ගල්කිස්ස පොලිස් වසමේ පන්සල් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනි අවියක් එල්ල කර බිය ගන්වා පහරදීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිවල සවිකර තිබූ බවටද අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
