ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතිශය භක්ත්‍යාදරයෙන් යුතුව සමරනු ලබන තියාගවන්තභාවයේ සහ කැපකිරීමේ උත්සවය හෙවත් ඓතිහාසික හජ් උත්සවය හෙට (28) දිනට යෙදී තිබීම හේතුවෙන්, දිවයින පුරා පිහිටි සියලුම ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ.
ආගමික වතාවත් සහ දේව මෙහෙයන් සඳහා සහභාගී වන බැතිමතුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත සෘජු නියෝග සහ උපදෙස් ලබා දී ඇත.
මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම යටතේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන අවට විශේෂ පොලිස් මුරපොළවල් ස්ථාපිත කිරීමටත්, ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශ ආවරණය වන පරිදි ජංගම සහ යතුරුපැදි මුර සංචාර ඉහළ නැංවීමටත් කටයුතු යොදා තිබේ.
එලෙසම, රථවාහන තදබදය අවම කිරීම සඳහා දේවස්ථාන අවට විශේෂ රථවාහන සැලසුම් දියත් කෙරෙන අතර පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද සිවිල් ඇඳුමින් සැරසී ආරක්ෂක නිරීක්ෂණ කටයුතුවල නිරත වීමට නියමිතය.
ආගමික වතාවත් සිදුවන කාලසීමාව තුළ තමන් පදිංචි ප්‍රදේශවල හෝ දේවස්ථාන පරිශ්‍රයන්හි කිසියම් ආකාරයක සැකකටයුතු පුද්ගලයෙකු, වාහනයක් හෝ ද්‍රව්‍යයක් නිරීක්ෂණය වුවහොත්, ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකථන අංකය වෙත වහාම තොරතුරු සපයන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
