රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීම පිළිබදව ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් අද (19) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ඊයේ (18) ජාතක නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි.
නමුත්, එම අවස්තාවේදී ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට ගොස් පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟ නොසන්සුන්තාවයක් ඇති විය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අද පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වෙමින් පෙරහුරුව කාර්යයන් සිදුකරමින් තිබෙන අවස්ථාවේ විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවය.
එබැවින් එම අවස්ථාවේදී පොලිස් නිලධාරින් විසින් එම උත්සාහය ව්‍යථ කර එහි රැඳී සිටි පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පොලීසිය පවසා තිබුණි.
ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායමට එරෙහිව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්‌ග ගැනීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.
