කැප්පෙටිපොළ සහතික කල පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස බටවලින් හා පොලුවලින් පහරදුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු වැලිමඩ පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර එම පාසලේ දරුවන්ට වෘත්තීය මගපෙන්වීම ලබාදුන් අරක්කැමියෙකු, විදුලි කාර්මිකයෙකු හා පෙදරේරු උපදේශකයකු ද සිටින බව සඳහන්ය.
විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස 13 -18 අතර දරුවන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නක්ය.
එසේ නමුත් එහි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස සිදුකරන පහරදීම් දරාගැනීමට නොහැකිව, එම දරුවන් ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට දුරකතනයෙන් දැනුම්දී තිබේ.
ඉන් පසු ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස ළමා කාර්යංශය හා පළාත් ළමා ආරක්ෂක නිලධාරින් වැලිමඩ පොලිස් නිලධාරීන් එක්ව අදාළ සහතික කළ පාසලට පැමිණ ඇත.
එහිදී ළමුන් ලබාදුන් කටඋත්තර මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
