අඹේවෙල, පට්ටිපොල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් විසින් පාලන මිල උල්ලංඝනය කරමින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල් 500,000ක දඩයක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ගැසට් නිවේදන අනුව මිලිලීටර් 500 ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙස නියම කර තිබුණද, අදාළ ආයතනය එය රුපියල් 100කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම වැටලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කර ඇති අතර, උපාය දූතයෙකු මගින් සාක්ෂි රැස් කර ඇති බව වාර්තා වෙයි.
අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, වරද පිළිගත් සමාගමට අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත.
